wideshasevaradio.com

මිනිසා සමාජ සත්ත්වයෙකි; මිනිසා දේශපාලනික සත්ත්වයෙකි; ඒ සියල්ලටම වඩා ඔහු ලිංගික සත්ත්වයෙකි.


තමන් තුළින් ස්වභාවිකව උපදින ලිංගික තෝරා ගැනීමක් නිසා කෙනෙකුට හිමි වන්නේ දරුණු වධ බන්ධන සහ මරණ දණ්ඩනය නම්….. එහි වරද ඔහු හෝ ඇය අත ද ඔහු හෝ ඇය අයත් වන සමාජය අත ද යන්න ගැඹුරින් විමසිය යුත්තකි.

ඔබ සමලිංගිකයෙකු නම් ඉරානයේ දී ඔබට සිදුවන්නේ එයයි. ඉරානය යනු සමලිංගික සේවනයේ යෙදීමේ “වරදට” මරණ දණ්ඩණය දීම නීත්‍යානුකූල කර ඇති රටවල් හතෙන් එකකි. අනෙක් රටවල් වන්නේ නයිජීරියාව, සෞදි අරාබිය, සෝමාලියාව, සුඩානය, යේමනය හා මොරිටානියාවයි. ලෝකයේ පිළිගත් මානව හිමිකම් නීති උල්ලංඝනය කරමින් කෙරෙන මේ වධ දීම්, අපචාර, ලිංගික අපයෝජන සහ මරණීය දණ්ඩනයට ලක් කිරීම් ඉස්ලාම් ලබ්ධික ෂාරියා නීතියට අනුකූලව සැකසී ඇති අතරම එම රටවල නීතියේ ද දේශපාලන හස්තයේ ද ආශිර්වාදය සහිතව ක්‍රියාත්මක වෙයි.

ඔවුන්ට මේ වන විට ඉතිරිව ඇත්තේ එකම විකල්පයකි. ඒ දුක් විඳීමට හෝ තුර්කියට පලා ගොස් “ලිංගික හේතු” දක්වා සමලිංගික බව හෝ ලිංගික විෂම බව ඔප්පු කොට කඳවුරකට ගාල් වී බහුතරයෙන් වෙනස්ව ඉපදීමේ වරදට නොදන්නා අනාගතයක් දෙස බලා හිඳීමයි. ඉරානයේ අසල්වැසි රටක් වන තුර්කියේ රැකවරණ පතන මෙවැනි පුද්ගලයින් සිය ගණනකි. ජිවිත බේරා ගැනීම සඳහා එසේ ඉරානයෙන් පලා යන්නන් ගණන දිනෙන් දින වැඩි වෙමින් පවතී.

ඉරාන නීතිය සහ විශ්ව මානව හිමිකම්

ඉරාන නීතිය ප්‍රතිවර්තනය කරන්නේ ලිංගික සුළුතරය කෙරෙහි රජය දක්වන කුරිරු ආකල්පය යි. ඊට අනුව සාම්ප්‍රදායික විවාහයට පටහැනි සියලු ආකාර ලිංගික සම්බන්ධතා මරණ දඬුවම් ලැබිය යුතු වැරදි ය. සමලිංගික සම්බන්ධතා පැවැත්වීම “හුදුද්” හෙවත් ෂාරියා (ඉස්ලාමික) නීතියෙන් දෙන දඬුවමට යටත් ය. මන්ද එය සැලකෙන්නේ දෙවියන්ට එරෙහි වීමක් ලෙස ය. පුද්ගලයෙකු හතර වතාවක් සමලිංගික සේවනයේ යෙදුණු බවට ෂාරියා නීතිය අනුව “යහපත්” මිනිසුන් හතර දෙනෙකු සාක්ෂි දුනහොත් හෝ අදාළ තැනැත්තා හෝ තැනැත්තිය තමන් එසේ කළ බවට පාපපොච්ඡාරණය කළ හොත් ඔහුට හෝ ඇයට මරණ දණ්ඩනය නියම කෙරේ. (ඉරාන දණ්ඩ නීති සංග්‍රහය: 127, 129, 130 වගන්ති.)

මීට අමතරව රජයේ නීතියට අනුව පිරිමින් දෙදෙනෙකු හෝ ගැහැණුන් දෙදෙනෙකු අනුරාගික සිප ගැනීමක යෙදුණු බවට ඔප්පු වුවහොත් දඬුවම එක් අයෙකුට කස පහර 60 බැගිනි. එසේම “ලේ ඥාතීන් නොවන පිරිමින් දෙදෙනෙකු කිසිදු හේතුවක් නොමැතිව එකම පොරෝණය යට සිට අසුවීම” කස පහර 100 ක් ලැබිය හැකි වරදකි. (ඉරාන දණ්ඩ නීති සංග්‍රහය: 134 වගන්තිය.) එබඳු “‍වැරදි” සඳහා කණ්ඩායම්ගත වීම ද ඒ සඳහා පෙළඹවීම ද ආගමික නීතියේ පදනම මත තහනම් වී ඇත. පිළිගත් විවාහ ක්‍රමයෙන් වෙනස් කිසිදු ලිංගික කරුණක් සම්බන්ධ ලිඛිත ප්‍රකාශන, වෙබ් අඩවි ආදිය සපුරා තහනම්ය.

සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ විශ්ව මානව හා ළමා හිමිකම් ප්‍රඥප්තීන්ට අනුව අවු: 18 ට අඩු පුද්ගලයින්ට මරණ දඬුවම හෝ බරපතල ගණයට වැටෙන දඬුවම් දීම තහනම් කරන ලද කරුණකි. (මානව හිමිකම් ප්‍රඥප්තිය: 6 වන වගන්තිය.) අද මෙසේ හැසිරෙන ඉරානය 1975 දී අන්තර්ජාතික මානව හිමිකම් පනතට අත්සන් තැබූ අතර 1994 දී ළමා හිමිකම් ප්‍රඥප්තියට අත්සන් තබන ලදි.

මරණ දණ්ඩනය

ඉරාන මාධ්‍ය සාක්ෂි වලට අනුව 1979 සිට මේ දක්වා සමලිංගික සේවනය හේතුවෙන් මරණ දඬුවම හිමි වූ බොහෝ අය (අවු: 18 පහළ ළමුන් ද ඇතුළුව) පිරිමි ය. මේ අයට දඬුවම් නියම කරන්නේ වෙනත් අපරාධ චෝදනා ද කරමිනි. බොරෝමාන් පදනමට (Boroumand Foundation) අනුව 1979 සිට 1990 දක්වා සමලිංගික සේවන චෝදනා මත අඩුම තරමින් 107 දෙනෙකුවත් රජය විසින් මරා දමා ඇත. ඇම්නෙස්ටි ජාත්‍යන්තරය (Amnesty International) පවසන්නේ 1990 ජනවාරි මාසයේ දී පමණක් සමලිංගිකයින් බවට සැක කොට පුද්ගලයින් පස් දෙනෙකුට මරණ දඬුවම ලබා දී ඇත. මින් තිදෙනෙකු පිරිමි වන අතර දෙදෙනෙකු ගැහැණු ය.

මෙයින් වඩාත්ම කතා බහට ලක් වූ සිද්ධියක් වන්නේ මොහොමඩ් අසාරි සහ අයාස් මාර්හෝනි නම් යෞවනයින් දෙදෙනා (මේ දෙදෙනාගෙන් කෙනෙක් අවු: 18 ට අඩු ය.) ඉරාන රජය විසින් ඊසානදිග ඉරානයේ මෂාද් නම් නගරයේ දී 2005 ජුලි 19 වනදා ප්‍රසිද්ධියේ එල්ලා මරා දැමීම යි. ඔවුන්ට එල්ල කර තිබුණේ අවු: 13 ක පිරිමි ළමයෙකු “ලවාත් ‍බේ ඔන්ෆ්” හෙවත් දූෂණය කිරීමේ චෝදනාවයි. එහෙත් මානව හිමිකම් සංවිධාන වාර්තා කර තිබුණේ එයට සැබෑ හේතුව වී ඇත්තේ ඔවුන් සමලිංගිකයින් වීම බව යි.

ආරක්ෂක අංශ සහ උසාවි

මේ කරුණු ගැන ගැඹුරු අධ්‍යයනයක් කළ හියුමන් රයිට්ස් වොච් (Human Rights Watch) ආයතනය වාර්තා කරන පරිදි, ඉරානයේ ආරක්ෂක අංශ එනම් පොලිසිය සහ බසිජ් හෙවත් මිලිටරි අංශ වල විශේෂ කණ්ඩායම් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ දී, අත්අඩංගුවේ තබා ගැනීමේ දී සහ හිරිහැර කිරීමේ දී සමලිංගිකයින් යයි සැක කරන පුද්ගලයින් කෙරෙහි අන්තවාදී, අමානුෂික නීති ක්‍රියාත්මක කරයි. ඔවුන් වෙත අදහස් දැක්වූවන් අතර එබඳු ආරක්ෂක අංශ සාමාජිකයින් වෙතින් ලිංගිකව අපහරණයට හෝ දූෂණයට ලක්වූවන් බොහොමයක් විය.

42 හැවිරිදි සමලිංගිකයෙකු වන නේවිඩ් ටෙහෙරානයෙන් පිට වෙළඳසැලක් හිමිව සිටියෙකි. 2007 දී සිය වෙළඳසැල වසා රාත්‍රියේ නිවස බලා යන විට, ඒ මොහොතේ දී සිවිල් ඇඳමින් සැරසී සිටි නමුත් පසුව සොයාගනු ලැබූ පරිදි ප්‍රාදේශීය පොලිසියේ (බසීජ්) සාමාජිකයින් බවට තහවුරු වූ දෙදෙනෙකු අතින් පහර කෑමට සහ ලිංගිකව දූෂණයට ලක් වූ අයුරු ඔහු විස්තර කරන්නේ මෙසේය.

“ඔවුන් මාව අත් වලට මාංචු දමා මගේ නිවස දෙසට ගෙන ගියා. ඉන් පසුව වාහනයෙන් ඉවතට ඇද දැම්මා. මට හොඳටම පහර දී එක් අයෙක් මගේ මුව තුළට ඔහුගේ ලිංගය එබුවා. මම අප්පිරියාවෙන් එය ඉවතට තල්ලු කළා. එවිට ඔවුන් මාව නාන කාමරයට ඇදගෙන ගොස් අධික සීතල වතුරට දැම්මා. ඒ මුළු වෙලාවෙම ඔවුන් මට පහර දුන්නා. ඉන්පසු මාව වෙනත් නිවසකට අරන් ගියා. එහි කැරපොත්තන්ගෙන් පිරුණු ගඳ ගහන කුස්සියකට දමා අගුළු දැම්මා. එහිදී එකෙකු මගේ ඇඳුම් ගැලෙව්වා. ෆ්ලෑෂ් එළියක් මැද බැට්න් පොල්ලක් ද රැගෙන ඔහු මාව බිමට දමාගෙන දූෂණය කළා. පසුව අනෙක් අයත් එකතු වුණා.”

මේ සම්බන්ධ චෝදනා වලට ලක්වූවන් ගේ අයිතිවාසිකම් කෙළෙසෙන අයුරු ද අමානුෂික ය. 2007 දී තහනම් කරන ලද අන්තර්ජාල පරිහරණය කරන්නන් “අල්ලා ගැනීමේ මෙහෙයුමකින්” අත්අඩංගුවට පත්වී දරුණු වධ හිංසාවන්ට ගොදුරු වූ මොහොමඩ් ටී. සිය නඩු විභාගය සහ දඬුවම් ගැන විස්තර කරන්නේ මෙසේය.

“මම කිසිදු විටෙක චෝදනා ලියවිලි දැක්කෙ නෑ. මම දැක්කෙ අන්තර්ජාල සංවාද (චැට්) කිහිපයක ෆොටෝ කොපි කීපයක් සහ මට අත්සන් කරන්න දුන්න සහතික කිරීමේ ලියවිල්ලක් විතරයි. උසාවියෙදි නඩුකාරයා සහ බසීජ් රැකවල්ලු ‘නපුංසකයා’ කියලා මට අපහාස කළා. මාව අල්ලලා දීපු අරාෂ් කියන පුද්ගලයත් එහි සිටියා. නඩුකාරයා ඇහුවා ඇයි මෙහෙම කළේ කියලා. මම කිව්වා ‘මම දන්නේ නෑ. මට ඕන වුණා මම වගේ තවත් කෙනෙක් සමග කතා කරන්න’ කියලා. එතකොට ඔහු ඇහුවා ‘ඉස්ලාම් ධර්මය අනුව ඒක පවක් බව නුඹ දන්නවා නේද?’ කියලා. නඩු විභාගය තිබුණේ විනාඩි 30-45 දක්වා කාලයක්. මුළු වෙලාවෙම කතා ක‍ළේ නඩුකාරයා විතරයි. එච්චරයි.”

මෙබඳු චෝදනා වලට ඉරාන දණ්ඩ නීති සංග්‍රහයේ 120 වන වගන්තිය අනුව ෂාරියා ආගමික නඩුකාරයා ගේ දැනුම සහ අදහස මත පමණක් පදනම්ව දඬුවම් ලබා දිය හැකි නිසාම ඔවුහු රිසි පරිදි චෝදනා කොට දඬුවම් ලබා දෙති.

කාන්තාවන්ගේ ඉරණම

මේ සියල්ලෙන් වඩාත්ම බැට කන පිරිස වී ඇත්තේ කාන්තාවන් ය. ඔවුන්ට ඇති බරපතලම ප්‍රශ්නය නම් විවාහ විම සඳහා බල කරනු ලැබීමයි. තමන් සම්පුර්ණයෙන් අකමැති ලිංගික ජිවිතයකට බල කරනු ලබන මේ කතුන් එම පීඩාව ඉවසා දරා ගත යුතු ය. නැතහොත් සත්‍ය්‍ය එළි වීම නම් මරණය යි. ඊට පෙර විඳිය යුතු මරණීය වේදනා බොහෝ ය. තමන්ගෙම ඥාතීන්ගෙන් සිදුවන ලිංගික බලපැම්, තර්ජන ගර්ජන හා පහර දීම් වලට ඇය ලක් වේ. නීති‍ය ඉදිරිපිට ද කිසිදු පිළිසරණක් නැති ඔවුන්ට ධෛර්යයක් තිබේ නම් කළ හැකි එකම දෙය තුර්කිය වෙත පලා යාම යි.

මේ දැනට තුර්කියේ රැකවරණ ලබන 30 හැවිරිදි මරියම් ගේ හඬයි.

“මාව 2004 වසරෙදි බලෙන් විවාහ කරලා දුන්නා. අප්‍රමාණ මානසික සහ ශාරීරික වේදනා ගොඩක් වින්දාට පසුව 2008 දි මට දික්කසාදය ලැබුණා. ඊළඟට මගේ පවුලෙ අයට ඕන වුණේ මාව ආයෙත් විවාහ කරලා දෙන්න. මේ කාලයෙදි මගේ මස්සිනා මට ලිංගික අතවර කරන්න උත්සහ කරමින් හිටියා. මට ගෙදරට කියන්න හැකි වුණේ නෑ ඔවුන් මට උදව් නොකරන නිසා. කිව්වා නම් ඔහු මට පහර දෙනවා. ඒ නිසා මම ගෙදරින් පැනලා ආවා. මගේ මස්සිනා වැඩ කළේ රහස් පොලිසියේ. ඔහු මගේ ඊ මේල් වලට හොරෙන් ඇතුළු වෙලා හොයා ගෙන තිබුණා මම සමලිංගික බව. එතැන් පටන් මම මෙහෙට එන්න දින දෙකකට කලිනුත් ඔවුන් දුරකථනයෙන් මටත් මා සමග සම්බන්ධතා පැවැත්වූ සියලුම මිතුරියන්ට නිවෙස් ඉදිරිපිට ගිහිනුත් අපිව එකට දමා ගිනි තියන බවට තර්ජනය කළා. මම යි ඒ දේවල් වලට වග කිව යුතු කියලා හිතෙද්දි මාව ලැජ්ජාවෙන් සහ බයෙන් වෙව්ලුවා..”

ඉරානය තුළ මානව හිමිකම් ක්‍රියාකාරිකයින්

ඉරානය තුළ, රජය විසින් පිළිගත් ප්‍රධාන ධාරාවන්ට පටහැණිව ස්ත්‍රීපුරුෂ භාවය හෝ ලිංගික කාරණා පිළිබඳව කටයුතු කිරීමට එකතු වීම, සංවිධානය කිරීම හෝ තොරතුරු බෙදා හැරීම දේශපාලන කල්ලි ගැසීමක් ලෙස සහ ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස සැලකෙන අතර මෙය ඉරානයටම පමණක් සීමා වූ තත්ත්වයක් නොවන බවද අප වටහා ගත යුතු ය. මැදපෙරදිග කලාපයේ එවැනි ක්‍රියාකාරකම් සැලකෙන්නේ විදේශ කුමන්ත්‍රණ ලෙස ය. එනිසාම ඉරානය තුළ සිටින එවැනි කණ්ඩායම් කොන්වූ ලිංගික කණ්ඩායම් වල ප්‍රශ්න කෙරෙහි උදාසීන වීම පුදුමයක් නොවේ. එහෙත් මේ සියලු තත්ත්වයන් යටතේ වුවද විරෝධතා දක්වන්නන්, මාධ්‍යවේදීන්, බ්ලොග්කරුවන්, ශිෂ්‍යයින් සහ කලාකරුවන් වැනි පිරිස් කොන්වූ පිරිස් වල අයිතීන් වෙනුවෙන් සමාජගත නොවන්නේ ද නොවේ. එහෙත් සාමාන්‍ය පොලිසියට අමතරව බුද්ධි අංශයේ රහස් නිළධාරින් පවා යොදවමින් ඔවුන් මැඩලීමට රජය පසුබට නොවේ. මීට හොඳම උදාහරණය වන්නේ මානව හිමිකම් වාර්තාකරුවන්ගේ කමිටුව (Committee of Human Rights Reporters-CHRR) ට අත් වූ ඉරණම යි. ඔවුන්ගේ සමාජගතවීම් කිහිපයකට පසු රජය කළේ එය නිහඬ කිරීම යි. එහි සාමාජිකයින්ගෙන් වැඩි දෙනෙක් අද වන විට සිරගෙදර ය. නැතහොත් රටින් පලා ගොසිනි.

එසේ වුවත්…..,
කෙසේ වුව ද රජයේ පිළිවෙත සහ සැබෑ තත්ත්වය අතර පැහැදිලි වෙනසක් දක්නට ලැබේ. 2007 දී ඉරාන ජනපති අහමදීන්ජාඩ් ගේ “ඉරානයේ සමලිංගිකයින් නැත” යන ප්‍රකාශයට එරෙහිව යමින් දහස් ගණන් පිරිස් තම සමලංගික, බහුලිංගික හෝ විෂම ලිංගික බව නිසාම රහසින් හෝ ප්‍රසිද්ධියේ එකතු වී කණ්ඩායම්ගත වෙයි. ඔවුන් විසින් පර්සියානු භාෂාවෙන් පවත්වා ගෙන යන බ්ලොග් කරුවන්ගේ ප්‍රජාවක් ද වෙයි.

ක්‍රිස්තියානි පල්ලිය

ශු.බයිබලයට අනුව සමලිංගික වීම පවකි (උත්පත්ති 18: 1-33). ක්‍රිස්තියානි පල්ලිය මෙවැනි දෑ පවක් ලෙස සැලකුව ද ඒ කෙරෙහි දක්වන ප්‍රතිචාර මාරාන්තික නැත. විවිධ ක්‍රිස්තියානි කණ්ඩායම් මෙන්ම කතෝලික පල්ලිය තුළ ද ඇත්තේ එකිනෙකට වෙනස් පුද්ගල මතවාද ය. සමලිංගිකත්වය පිටු දැකීමට වඩා පල්ලිය වඩාත් චෝදනාවට පාත්‍ර වන්නේ පූජකයින් සිදු කරන ලිංගික ළමා අපචාර සහ වෙනත් ලිංගික අක්‍රමිකතා යට ගැසීම් ගැනය. වතිකානුව එම චූදිත ලැයිස්තුවේ මුල් තැන ගනියි.

අපි එහෙම නෑ…(?)

ඔව්! ඉරාන නීතිය කෲර ය. අමානුෂික ය. පුද්ගල නිදහස උදුරා ගනියි. එසේ නම් ලංකාව කොතැනද? ලංකාවේ සමලිංගික සේවනයට මරණ දඬුවම හිමි වන්නේ නැත. කණ්ඩායම්ගත වීම සහ අයිතිවාසිකම් පිළිබඳව කතා කිරීමේ නිදහස ද හිමි ය. Companions on a Journey නමින් සමලිංගිකයින්ගේ අයිකිවාසිකම් සුරැකීමේ සංවිධානයක් ද 1994 දී බිහි වී ඇත.

එහෙත්, ලංකාවේ සංස්කෘතිය තුළ කිසිදු විටෙක සම ලිංගික වීම හෝ ලිංග විපර්යාස පිළිගන්නේ නැත. බලය සහ මුදල් යන සාධක පිටුවහල් කරගෙන සමාජයෙන් ගැළවුණ ද නින්දා කිරීම් හෝ අවමාන කිරීම් වලින් ගැලවීමට ඉහළ මට්ටමේ දේශපාලකයින්වත් කලාකරුවන්වත් සමත් වී නැත. දේශපාලන වේදිකාවේ දී හෝ කලා ජීවිතයේ දී ඔවුන් බිම හෙළන්නට ප්‍රතිවාදියා යොදාගන්නා අවිය ඔවුන්ගේ ලිංගික පැවැත්ම යි. ස්වභාවික ලිංගික තෝරා ගැනීම යි. ලංකාවේ හද්දා පිටිසර ගැමියෙකු අතින් ද කොළඹ වසන අති රැඩිකල් සමාජ ක්‍රියාකාරිකයෙකු හෝ අධ්‍යාපනයේ කෙළ පැමිණි විශ්ව විද්‍යාල ආචාර්වරයෙකු අතින් ද මේ හෙලා දැකීම එකම ලෙස සිදු වෙයි. සිර කරන ලද හැඟීම් තුළ වසා දමන ලද කූඩු තුළ ඔවුහු ජීවත් වෙති. ඉදින් යමක් හෙළි වී නම් අවමාන ලබති. මැරි මැරී ජීවත් වෙති. රජය ඔවුන් මරා දමන්නේ නැත. එහෙත් දිවි නසා ගැනිම සඳහා තල්ලු කරන වටපිටාවක් ඔවුන් අවට ඇත. මාධ්‍ය භාවිතය ද ඊටම සරිලන ලෙස සකස් වී ඇත. හැකි නම් දෑස් හැර වට පිට බලන්න. උදාහරණ බොහෝ ය.

ලංකාවේ සමලිංගික විවාහ තහනම් ය. සම සහ විෂම ලිංගිකයින්ගේ අයිතීන් සඳහා එක්සත් ජාතීන් විසින් අත්සන් කරන්නට යෝජනා කරන ජාතීන් ගේ ලියවිල්ලට අත්සන් තැබීම රාජපක්ෂ රජය දිගින් දිගට ප්‍රතික්ෂේප කරමින් සිටියි. එමෙන්ම ලංකාවේ සියලු ප්‍රධාන සහ කුඩා දේශපාලන පක්ෂ මේ කුඩා ලිංගික කණ්ඩායම් වල අයිතීන් සැලකිල්ලට බඳුන් කිරිම නොසලකා හරියි.

ව්‍යවස්ථාපිත ආගමික රාජ්‍ය සංකල්පය

ඉරානය නීති ක්‍රියාත්මක කරන්නේ ෂාරියා නීති පොත් පෙරළාගෙන ය. ඒ රටේ ව්‍යවස්ථාව ආගමික ය. අපේ රටේ ව්‍යවස්ථාව ද ආගමික ය.(ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව- 9 වන වගන්තිය.) ලංකාවේ වත්මන් රජය මුහුදු වෙරළවල සිටින පෙම්වතුන් දඟ ගෙයි ලන්නේත්, අසභ්‍ය වෙබ් අඩවි පස්සෙන් බොරු රේස් එකක් දුවන්නේත්, පාර්ලිමේන්තුවේ සූදුව සම්මත කරමින් හිතවතුන්ට බාර් ලයිසන් දෙමින් මතට තිත තියන්නේත්, රජුන්, යුව රජුන්, ඇමතිවරුන්, කේවට්ටයන් සුපිරි තරු සමග යහන් ගත වන අතරම නිල් චිත්‍රපට වල පෙනී සිටියා යැයි කියන ගැහැණුන්ගේ පින්තූර පුවත් පත් වල ප්‍රසිද්ධ කරන්නේ ත් ධර්ම රාජ්‍යයක් බිහි කිරීමේ අරමුණින් ත්‍රිපිටකය පෙරළාගෙන ය.

අපට සතුටු වීමට වැඩි කාලයක් නැත. ඉරානයේ දී මෙන් නොව ඉරණම කාටත් පොදු නිසා ලිංගික කාරණා අදාළ නැත.

එක්කෝ රජු සමග ඉරානය දෙසට ඇවිදින්න.
නැත්නම් පලා යාමට අසල් වැසි රටක් තෝරා ගන්න.

එසේත් නැත්නම්….?

*******
http://www.thesundayleader.lk/2010/09/19/homosexuality-in-sri-lanka-taking-pills-or-talking

Comments on: "සමලිංගික බව හංගන්න – Homosexuality" (1)

  1. as a sri lankan 1st we can not change anything

ඔබගේ අදහස් - Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Tag Cloud

%d bloggers like this: